Like us

Thursday, February 7, 2013

යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න - තෙවස් පූර්ණ සිහි කැදවීමක්..


එදා අපේ මිනිස්සු ගමනක් බිමනක් ගියේ පුදුමාකාර බයකින්. පිටකොටුවෙ ස්ටේෂන් එකෙන් හරි, බස් හෝල්ට් එකෙන් හරි බැහැල කන්තෝරුවට යන තාත්තලා, අම්මලා, හවස බස් එකේ දුම්රියෙ නැගල ගෙදර එනකල් පුංචි උන් බලං හිටියා. ඒ නිකන්ම නෙවේ බයෙන්. පුංචි උන් අම්ම තාත්තගෙන් ඇපල් ගෙඩියක්වත් ඉල්ලුවෙ නැහැ ඒ කාලෙ. අම්ම, තාත්ත ඇපල් ගන්න කොටුවෙ පලතුරු කඩයක් ලග ඉද්දි බෝම්බෙකට අහුවුනොත් කියල පුංචි හිතට බයක් එන්න ඇති. නැත්තං කොයි දරුවද පලතුරු කන්න අකැමැති.

ඒ වගේම පුංචි උන් ස්කූල් වෑන් එකේ, ස්කූල් බස් එකේ, එහෙමත් නැත්තං පොදු ප්‍රවාහන සේවයක නැගිල කොලඹ ඉස්කෝලෙකට ගිහින් ගෙදර එනකල් අම්ම තාත්ත පුදුම බයකින් හිටිය කාලයක් තිබ්බ. අම්ම ගෙදර ඉදන් කන්තෝරුවෙ වැඩකරන තාත්තට කතා කරල අහනව පොඩි එවුන් ගෙදර එන්න පරක්කු වුනොත්. එහෙමත් නැත්තං මහ පාරට ගිහින් බලං ඉන්නවා. මොකද තමන්ගෙ පුංචි එකා තමන්ට වටින නිසාම.

බස් එකට නැගල තෙරපිලා ඉන්න අතරෙ, අතේ එල්ලගෙන ඉන්න බෑග් එකක්වත් ඉදගෙන ඉන්න කෙනෙක් අතට ගත්තෙ නැති කාලයක් ඒක. බැරි වෙලාවත් අමතක වෙලා බස් එකක පාර්සලයක් දාල ගියොත් මුළු බස් එකම තැති ගත්ත. පාරවල් ගානෙ මාර්ග බාධක තිබ්බ. සැරින් සැරේ නවත්ත නවත්ත හැදුනුම්පත් පරීක්ෂා කළා. බස් පිටින් බෝම්බ වලට අහුවෙලා ගිණි අරන් අළු වෙලා ගියා. හැමෝම හිත අස්සෙ කදුළු වගුර වගුර ඇඩුවා. ලෝකෙට කිසි දෙයක් පෙනුනෙ නැහැ. ඇහුනෙ නැහැ.

කවදාවත් හිතපු නැති විදිහට මේ පුංචි රටේ කොහේද ඉපදිලා, මේ මහපොලව එක්ක පොර බදලා, ඒ පුපුරපු බෝම්බ, පත්තු වෙච්ච වෙඩි සද්ද බලාගෙන ඉදලා, සිංහල ලේ පිරිච්ච මහා පුරුෂයෙක් අපේ රට බේරගන්න ඉදිරිපත් වුණා. ඔහු කිව්වා “මේ යුද්ධය මම තවත් ජෙනරාල්වරයෙක්ට පවරන්නෙ නැහැ“ කියල. සමහරු මේ වචන ටික එක කනකින් අහල අනිත් කනින් පිට කරද්දි, ඔහු සැලුනෙ නැහැ. ඔහු කෙලින් හිට ගත්තා. තමන්ගෙ ත්‍රිවිධ හමුදාවටම කොන්ද කෙලින් තියාගෙන හිටගන්න හැටි හරි හැටි කියල දුන්න. ඒ පෙරටුගාමී වීරයගෙ පිටිපස්සෙන් ගමන් කරල ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් අතුගාල දාන්න ඔහුට හැකි වුණා. 

අපේ රට ඒ තරම් වාසනාවන්ත වුණා. අපි අපේ ජීවිත බේර ගන්න තරම් වාසනාවන්ත වුණා. අපි ජයග්‍රහනය සැමරුවා. මුළු රටක් හිනා වෙද්දි, මුළු ලෝකෙම අපිට සුභ පැතුව. ලේ පූජ කරල, ජීවිත පූජ කරල අපෙන් වෙන්වුණ අපේ සොල්දාදුවන් අපි සිහිකළා. අපි හිතෙන් ඔවුන් ගැන ආඩම්බර වුණා. අපි ඔවුන්ගෙ පවුල්වල අයට ණය ගැති වුණා. සියළු හමුදා මෙහෙයවන්න තරම් දක්ෂ වෙච්ච අපේ යුධ වීරයා තමන්ගෙ බඩවැල් අතින් මිරිකගෙන දෙවෙනි ජීවිතය ලැබුවා. අපි ඔහුටත් ණය ගැති වුණා.

ත්‍රස්තවාදයට එරෙහිව සිදු කළ හැමදේම හොද විදිහට සිද්ධ වුණා. එතැනින් එහාට තමන්ට දිවි දුන් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට එතුමා ඉදිරිපත් වුණා. බලකාමයට රට පාවා දෙන, පවුල්වාදයට රට පාවා දෙන නින්දිත පිරිස් වහා ක්‍රියාත්මක වුණා. රටට සාමය උදා කරන්නට ශක්තියක් තිබුණු මහා පුරුෂයෙක් නින්දිත විදිහට සිරගත කළා. මහා සංග්‍රාමයක් අවසන් කරපු ශක්තිමත් අත් දෙකක් යකඩ මාංචු අතර සිර වුණා. වීරයන් නැති තැන සූකරයන් පිණුම් ගහන්න ගත්තා. ලක් මෑණියන්ට ත්‍රස්තවාදයෙන් තුරන් වෙලා හිනා වෙන්නට නොදී ඒ හිනාව හිරකරල විනාස කරල දාන්න තරම් ද්‍රෝහීන් කුරිරු වුණා.

මීට වසර තුනකට ඉහතදී, 2010 වසරේ පෙබරවාරි 08 වෙනිදා, නිදහසේ අරුණළු දැක්ක මාතෘ භූමියම කම්පා වුණා. දැහැමි සත්ගුණවත් නායකයෙක් නැති තැන, ජාතියේ මව අසරණ වුණා. නීතිය සදාතනිකව අදුරේ ගිලුණා. එදා රටක් බේරාගත්ත රත්තරන් අත් දෙකක් මලකඩ කාපු මාංචු අතර හිර වුණා. එදා ඉදන් හැමෝම සුසුම් හෙලුවා. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නිමා කරපු වීරයාටවත් ඒ නිදහස භුක්ති විදින්න ඉඩක් දුන්නෙ නැහැ. එවන් නින්දිත පාලනයක් සමග අපේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා. හීනියට හුස්ම ගන්නවා. පිටට ඇලිල තියෙන බඩ, තොල් දෙක වේලෙන්න තියෙන තිබහ, සාක්කුව පිරෙන්නෙ නැති මුදල් පසුම්බිය තියාගෙන අපේ මිනිස්සු තාමත් ජීවත් වෙනවා. 

ඒත් ඒ ජීවිත ඇතුලෙ හරි ප්‍රාණයක් නැහැ. එදා රට බේරගත්ත වීරයාට නිදහසක් නැති කරපු අවිනීතිය තාමත් ජීවත් වෙනවා. ඒවට විරුද්ධව තාම පන දෙන්න කවුරුත් නැහැ. ඒත් අපි දන්නවා ඔබ දැන් ශක්තිමත්. ඔබ දැන් ඉස්සරටත් වඩා ශක්තිමත්. මොකද මිනිස්සු හැමදාම බලන් ඉන්නෙ නැහැ. හැමෝම මහා රැල්ලක් වෙලා අසාධාරණය තියෙන තැන් විනාස කරනවා. එදාට අපි ඔබ තුමා සමග එකතු වෙලා මාතෘ භූමිය වෙනුවෙන් පෙල ගැහෙනවා. ඒ ශක්තියෙන් අපි නැවත නැවත ඔබතුමා සුභ පතනවා.

නීතිය පවුල් පාලනයට යටත් වූ ඒ දිනය නැවත සිහි කරගන්න වීඩියෝව බලන්න ...



© S F | Online Media.

No comments:

Post a Comment